About Us




ගීතා රුක්මණී වර්ණසූරිය වන මා 1952 නොවැම්බර් මස 07 වන දින රාගමදී උපත ලැබූ බෞද්ධ කාන්තාවක් වෙමි.අප කුඩා කල සිට පදිංචිව සිටියේ නුගේගොඩ රේමන් පාරේ නිවසේය.මාගේ මුල් පාසල වූයේ නුගේගොඩ අනුලා විද්‍යාලයයි. W.M.S.වර්ණසූරිය මහතා වන මාගේ පියාගේ ගම ගාලූ දිස්ත‍්‍රික්කයේ දොඩන්දූව කුමාර කන්ද ග‍්‍රාමයයි.මාගේ මව වන ධර්මවතී ද සිල්වා මහත්මිය අම්බලන්ගොඩ දිස්ත‍්‍රික්කයේ අලූත්වල ග‍්‍රාමයේය.ඇය ගුණගරුක ගෘහණියකි.

මාගේ පියා ජර්මන් රටෙන් ටිප් ටොප් (Tip Top) යන නාමයෙන් වාහන ටයර් අලූත්වැඩියා කිරීම සහ අමතර කොටස් ආනයනය කල එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස කටයුතු කළේය.කොළඹ මරදාන සදන් මෝටර්ස් (southern motores) නමින් ව්‍යාපාරයක් පවත්වා ගියහ.කල්යත්ම මාගේ පියාට අවශ්‍ය වුණා ගමේ පදිංචියට ගොස් ඔහුගේ උපන් ගමට සේවය කිරීමට.ඒ අනුව අප කොළඹ අතහැර ගාලූ දිස්ත‍්‍රික්කයේ දොඩන්දූව කුමාරකන්ද ග‍්‍රාමයට පදිංචියට ගියේය.වාහන නඩත්තු කිරීම සඳහා AUTO HOUSE නමින් ආයතනයක්ද ආරම්භ කරන ලදී.

මා හට සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියක් සිටියා.මා සහ මාගේ නැගණිය ගාල්ල සවුත්ලන්ඞ් බාලිකාවට ඇතුලත් වූ අතර මාගේ සහෝදරයන් තිදෙනා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට ඇතුලත් විය.පසුව බාලම සොහොයුරා ඉගෙනීමට දක්‍ෂ බැවින් පියාට අවශ්‍ය වූයේ ඔහු වෛද්‍යවරයෙකු කිරීමට ය. එම නිසා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර විය.

මාගේ පියා ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර ගමට විශාල සේවයක් සිදු කලහ.පියා දොඩන්දූව ග‍්‍රාමයේ සමථ මණ්ඩලයේ සභාපතිධූරය ද හෙබවිය.ඒ අතර පියාගේ පෞද්ගලික ලේඛම් තනතුරට මා පත්කර ගන්නා ලදී.මාගේ රාජකාරිය වූයේ උසාවියේ නඩු විභාග කරන අවස්ථාවේ පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ කරුණු කාරනා සටහන් කිරීමත් එම කරුණු මත නැවත සිතාසි නිකුත් කිරීමට පිළියල කර අදාල පොලිස් බල ප‍්‍රදේශ සඳහා යොමු කිරීමටය.

මා මුල්වරට සාරියක් ඇන්දේ මෙම රැකියාව සඳහායි.එම හැට්ටය මා විසින්ම මසා ගන්නා ලදී.මට මාසික වැටුප වශයෙන් රජයෙන් රුපියල් 50 ක චෙක්පතක් ලැබුණි.එය මාගේ මුල්ම වැටුප විය.

මාගේ පියා එම ජනතාවට නීතිගරුක අවංකව සාධාරණව යුතුකම් ඉටු කරමින් එම තනතුර හෙබවිය.අද මාගේ මැහුම් පන්ති වලට සහභාගීවන සිසුන්හට නීති ගරුකව අවංකව පාඨමාලා උගන්වන ගුරු කාන්තාවක් වූයේ මාගේ පියාගෙන් ලද අත්දැකීම් මතය.

එවකට මාගේ තිබූ එකම බලාපොරොත්තුව ගුරු වෘත්තියේ නියලීම යි.නමුත් පියාගේ දේශපාලන කටයුතු මත නාම ලේඛනයෙන් මාගේ නම ඉවත් වූ බැවින් ගුරු පත්වීම අහිමිවිය.

කුඩාකල සිට මා ඉතාමත් ආසාවක් දැක්වූයේ කෑම සෑදීම සහ ඇදුම් මැසීමට ය.මා කුඩාකල අමතර පන්ති වශයෙන් සහභාගි වූයේ කුකරි පන්ති සහ මැහුම් පන්ති සඳහා පමණි.එම කාලයේ තිබුණේ පතරොම් සහිත (BLOCK ක‍්‍රමය) ඇදුම් මැසීමේ ක‍්‍රමය පමණි.පසුව මා 1975 වර්ෂයේ සිට පතරොම් සහිත ක‍්‍රමයට මැහුම් පන්ති පැවැත්විය.ඊට අමතරව කේක් පන්තිද පැවැත්විය.

එම වකවානුවේදී එනම් 1978 වර්ෂයේ බද්දේගම පදිංචි පූගොඩ පෙහෙකම්හලේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කල ජයසිරි ද සිල්වා මහතා සමඟ විවාහ වී පූගොඩ පෙහෙකම්හලේ නිල නිවාසයට පදිංචිය සඳහා පැමිණියහ.

එතැන් සිට මා ඔබ අතරට පැමිණියේ ගීතා ද සිල්වා යන නාමයෙනි. ලතා වර්ණසූරිය වන මාගේ නැගණිය 1987 වර්ෂයේ විවාහ වී නවසීලන්තයේ පදිංචියට ගියහ.අද ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ දරුවන් සමග ස්ථීර පදිංචිව සිටියි.මාගේ වැඩිමහල් සොහොයුරා වන ගාමිණී වර්ණසුරිය මහතා ව්‍යාපාරිකයෙකි.දෙවන සොයුරා වන සුනිල් වර්ණසූරිය මහතා ව්‍යාපාරිකයෙකු වූ අතර අද ජීවතුන් අතර නොමැත.මගේ බාල සොහොයුරා පියාට අව්‍යය වුයේ වෛද්‍යවරයෙකු කිරීමට නමුත් ඔහු ඉතා කැමැත්තක් දැක්වූ කලා ක්‍ෂේත‍්‍රයට යොමු විය.ඒ අද ඔබ හදුනන චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරන උදයකාන්ත වර්ණසූරිය මහතායි.

එවකට මාගේ දියණියන් දෙදෙනා වන සෂිකා සහ දිලිනි ගම්පහ සිරිකුරුස විදුහලට ගිය බැවින් ගම්පහ රතුපස්වල ඉඩමක් මිලදී ගෙන නිවසක් තනන ලදී.

පූගොඩ පෙහෙකම්හල 2000 වසරේදී රජයේ විවිධ දේශපාලන මත භේද අනුව වසා දමන ලදී.එය රටට ඉතා කණගාටුදායක කරුණකි.එබැවින් මා නිල නිවාස අතහැර ගම්පහ රතුපස්වල නිවසට පදිංචිය සඳහා පැමිණියේ ය.දැන් මාගේ ගම වශයෙන් සලකනු ලබන්නේ ගම්පහ රතුපස්වල යි. එම වකවානුවේදී මා මාගේ නිවසට යාබද රන්ලිය ප‍්‍රධාන ආයතනය ගොඩනගන ලදී.

එම කාලය වන විටද මා මැහුම් ක්‍ෂේත‍්‍රයේ පන්ති පැවැත්වීමට යොමුවී සිටි අතර මෙම පතරොම් සහිත ක‍්‍රමයට ඇදුම් මැසීමේදී සිසුන්ට තේරුම් ගැනීම අපහසු වීම සහ ඉතා අධික කාලයක් ගත වන බැවින් 1995 වර්ෂයේ සිට මාගේ නිර්මානශීලී හැකියාව මත මෙම පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය නිර්මාණය කිරීමට හැකි විය.එය මාගේ ජීවිතය නව මාවතකට හැර වූ බව කිව යුතු වේ.තවද මෙය පෙර භවයේ සිට මා හට පැමිණි දෙයක් ලෙස මා හට දැනේ.

කල් යාමේදී මෙම පතරොම් රහිත මාගේ ක‍්‍රමයට මා නමක් දැමීමට සිතුවා ඒ අනුව මාගේ ස්වාමියා සමග සාකච්ජා කර රන්ලිය පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය යන නාමය මා සමාජයට ඉදිරිපත් කලා.

පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය යටතේ සිසුන්ට වටිනා සහතිකයක් ලබා දීම සඳහා 2002 වසරේ රන්ලිය ඉන්ස්ටිටියුට් පුද්ගලික සමාගම (RANLIYA INSTITUTE PVT LTD) වශයෙන් මා මාගේ ආයතනය ලියාපදිංචි කලා.

මෙම මාගේ ක‍්‍රමයට නිර්මාණ හිමිකම් බලපත‍්‍රය (Patent Licen) ගැනීමට අදාල ආයතන වලට ගියද එම ආයතන වලින් පැවසුවේ පාඨමාලාවක් සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා දිය නොහැකි බවයි.මෙය ඔබගේ බව සනාථ කිරීම සඳහා මැහුම් ග‍්‍රන්ථයක් නිකුත් කරන ලෙයසි.

ඒ අනුව පතරොම් රහිත ඇදුම් මැසීමේ ග‍්‍රන්ථය රන්ලිය පබ්ලිකේෂන් පුද්ගලික සමාගම (Ranliya publiction pvt ltd) යටතේ 2006 වර්ෂයේ එලි දක්වන ලදී.ඉදිරියේ මා මෙහෙයවනු ලබන එක් එක් පාඨමාලා යටතේ ග‍්‍රන්ථ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙමි

වෘත්තීය පුහුණු ආයතනයේ NVQ LEVEL - 4 සහතිකය ලබා දුන්නේ පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමයට පමණි. නමුත් NVQ LEVEL - 4 සහතිකය මාගේ ක‍්‍රමයට එනම් පතරොම් රහිත ක‍්‍රමයට ලබා ගැනීම සඳහා වෘත්තීය පුහුණු ආයතනයේ අනුමැතිය ලබා ගැනීමට ඉල්ලූම් කල අතර මාගේ අයදුම්පත තුන් වරක් ප‍්‍රතික්ෂේප විය.මෙම ප‍්‍රතික්ෂේප වීමට හේතුව දැනගැනීමට මා වෘත්තීය පුහුණු ආයතනයට ගිය විට එම උසස් නිලධාරිතුමා පැවසුවේ ඔබට NVQ LEVEL - 4 සහතිකය පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක‍්‍රමයට දිය නොහැකි බවත් ඔබ ආයතනයේ පතරොම් සහිත ක‍්‍රමයට (BLOCK) ක‍්‍රමයට පාඨමාලාවක් නිර්මාණයක් ඉදිරිපත් කර නැවත අයදුම්පතක් සකසා එවන ලෙසය.

මා අවසාන වරට එතුමාට පැවසුවේ එක් කරුනකි ඔබතුමාගේ පතරොම් සහිත ක‍්‍රමයට ෂර්ට් එකක් මැසීමට සිසුවෙක් ඉදිරිපත් කර මැසීමටත් මාගේ පතරොම් රහිත ක‍්‍රමයට ෂර්ට් එක මැසීමට සිසුවෙකු ඉදිරිපත් කර මැසීමටත් අවසර දෙන ලෙසට ය.ඒ අනුව ඔබතුමා එම ෂර්ට් එක නිවැරදිව ප‍්‍රමිතියට අඩුකාල වේලාවකින් මැසීමට මාගේ සිසුවා දක්ෂ වුවහොත් ඔබතුමා මාගේ ක‍්‍රමයට එනම් පතරොම් රහිත ක‍්‍රමයට NVQ LEVEL - 4 අනුමත කර දීමට සලකා බලන ලෙසටය.එතුමාට මා කල අභියෝගය මත මාස එකහමාරක් පමණ ගිය පසු මා හට NVQ LEVEL - 4 සහතිකය සඳහා අනුමැතිය ලබා දුනිමි. මාගේ නොපසුබට අධික උත්සහය මත පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමයට අවසානයේ අනුමැතිය ලැබුණි.එතුමාට මා ඉතා අවංකවම ස්තූතිවන්ත වෙනවා.

නමුත් එක් කරුනක් පිළිබඳව මාගේ හිතේ තවමත් දෝංකාර දෙයි. එනම් එම ආයතනය පැවසුවේ පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය යන නාමය වෘත්තීය පුහුණු ආයතනයට භාවිතා කල නොහැකි බවත් NVQ පරීක්‍ෂණ විභාගයේදී පතරොම් රහිත හෝ සහිත කුමන හෝ ආකාරයට ඇදුම් කපා මසා හොඳ නිමාවක් තිබේනම් NVQ LEVEL - 4 TAILOR වශයෙන් සහතික ලබා දීමට අනුමැතිය ලබා දෙන බවටය.අද රජයේ වෘත්තීය පුහුණු ආයතනයේද මාගේ මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙනවා.නමුත් අද වෘත්තීය පුහුණු ආයතනයේ නව උසස් නිලධාරිතුමන්ලා මේ කරුණ ගැන නොදන්නවා ඇති මා ගත් වෙහෙස ගැන.

2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රථමවරට පෞද්ගලික ආයතනයක් වන මාගේ රන්ලිය ආයතනයට NVQ LEVEL - 4 සහතිකය ලබා ගැනීමට හැකි වුණා.එය මාගේ සිසුවියන් සහ අනාගත සිසුවියන් වෙනුවෙන් ලැබූ ජයග‍්‍රහණයකි.

මේ අතර මා විසින්ම පිරිමි දරුවන් වෙන්වෙන් බේකරි පාඨමාලාවද මෙහෙයවනු ලබයි. NVQ LEVEL - 4 BAKER සහතිකය සඳහා වෘත්තීය පුහුණ ආයතනයේ 2012 වර්ෂයේ අනුමැතිය ලබා ගතිමි.

මාගේ රන්ලිය ප‍්‍රධාන ආයතනයට NVQ LEVEL - 4 TAILOR සහ NVQ LEVEL- 4 BAKER සඳහා විභාග මධ්‍යස්ථානයක් වශයෙන්ද අනුමැතිය ලබා දී ඇත. එය මා ලැබූ තවත් ජයග‍්‍රහණයකි.

මාගේ වැඩිමහල් දියණිය මාගේ අඩිපාරේ යමින් කේක් පාඨමාලා අංශයට යොමු වී පන්ති පැවැත්විය. නමුත් අද ඇය කුඩා කල සිට මාගේ පියාගෙන් ඇයගේ සීයාගෙන් ඇයට ලැබුණු ඔවදන් මත එම අඩි පාරේ යමින් ජර්මන් රටෙන් Tip Top යන නාමයෙන් ටයර් අළුත්වැඩියා කිරීම සහ වාහන සම්බන්ධව විදේශ රටවලද සම්බන්ධතාවය ඇතිව ගම්පහ GLITZ PARK PVT LTD නමින් නවීන වාහන අලූත්වැඩියා කිරීමේ අංගනයක් මහා පරිමානයෙන් ඇයගේ ස්වාමියාගේද සහයෝගය ඇතුව පවත්වාගෙන යයි.

මාගේ බාල දියණිය පාසල නිමවී බැංකු ක්‍ෂේත‍්‍රයේ රැකියාවකට ගිය අතර මාගේ ඉල්ලීම මත එම රැකියාවෙන් ඉවත් වී මාගේ මැහුම් ක්‍ෂේත‍්‍රයේ නියලී සිටී.දැන් ඇය FAIRY DRESS MAKERS PVT LTD නමින් පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යයි.ඇයද මා මෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරයි.

අද මාගේ එකම බලාපොරොත්තුව වනුයේ සියලූම කාන්තාවන් සඳහා මෙම මැහුම් ක්‍ෂේත‍්‍රයේ අංගසම්පූර්ණ දැනුමක් ලබා දී මෙම පතරොම් රහිත මැහුම් ක‍්‍රමයෙන් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැගීමයි.

මැහුම් පාඨමාලාවට අමතරව කෙටිකාලීන සාරිහැට්ට පාඨමාලාවලතිරරෙදි පාඨමාලාව සහ අධිවේගී මැෂින් පුහුණු පාඨමාලාව ද ඉදිරිපත් කර ඇත.

අද දහස් ගනන් ඩිප්ලෝමාලාභී ගුරුවරුන් බිහි කර ඇත.ඔවුන්ගෙන් සමහර ගුරුවරු රජයේ වෘත්තීය පුහුණු ආයතනයේ ස්ථීර ගුරු පත්වීම් ලබා සිටී.දහස් ගනන් ස්වයං රැකියාලාභීන් බිහි කර ඇත.මහපරිමාන ව්‍යාපාරිකයින් බිහි කර ඇත.මේ අනුව කාන්තාවන්ගේ දෑත් සවිමත් කර ලියන් රන්ලියන් කර ඇත.

කෙටිකාලීන සාරි හැට්ට පාඨමාලාව පමණක් හදෑරු සිසුන් ඉතා ඉහල ආදායම් මාර්ගයක් උපයා ගනී.තිරරෙදි පාඨමාලාව හැදෑරු සිසුන් දේශීය විදේශීය වශයෙන් මහා පරිමානයෙන් ව්‍යාපාර පවත්වා ආදායම් මාර්ග උපයා ගනී.බේකරි පාඨමාලාව හදාරා NVQ LEVEL - 4 ලබාගත් සිසුන් තරු පන්තියේ හෝටල් ක්‍ෂේත‍්‍රයේ දේශීය විදේශීය රැකියා සඳහා යොමුවී ඇත.ස්වයං රැකියා ව්‍යාපාරද පවත්වා හොද ආදායම් මාර්ග උපයා ගනී.

මා සැමවිටම පිටවී යන දරුවන්ට දෙන එකම ඔවදන ඔබ යම්කිසි දිනක ගුරුවෘත්තියේ යෙදෙනවානම් කිසිම ගුරු මුෂ්ටියක් නොමැතිව මුදල් පසුපස හබා නොගොස් ඉගැන්වීම් කලයුතු බවත් එයින් සාධාරණව මුදල් ඉපයීම කල යුතු බවත් ය.එවිට මුදල් නිරායාසයෙන්ම අප පසුපස හබා එනු නොඅනුමානය.

මවක් සහ ගුරුවරියක් වශයෙන් හැමවිටම මා බලන්නේ විශේෂයෙන් සිසුන්ගේ විනයයි.මා නිතරම මාගේ සිසුන්ට පවසන අනෙක් කරුන නම් දෙමව්පියන්ට සැලකිය යුතුයි. ගුරුවරුන්ට ගරු කල යුතුයි.තම ආගම ධර්මයට අනුව ගුණගරුක විය යුතුය. තමා විවාහකනම් තම ස්වාමියාට ගරු කල යුතුය ස්වාමියාද බිරිඳට සහයෝගය දිය යුතුය සැම විටම යම්කිසි මුදලක් ඉතිරි කල යුතුය යන ඔවදන්ය.

අවසානයේ මාගේ සිතට ලොකු සතුටක් දැනෙනවා ශ්‍රී ලාංකික බෞද්ධ කාන්තාවක් වශයෙන්, කාන්තාවන් වෙනුවෙන් මාගේ ශ්‍රී ලාංකීක රටට අවංක සේවයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව.



Geetha De Silva Melborune TV Interview



මෙම පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය තුලින් මා ලබාගත් තනතුරු සහ ජයග‍්‍රහණ


01. 1997- ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය පිළිබඳව රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන මගින් කාන්තාවන් සඳහා නොමිලේ පාඩම් මෙහෙයවීම.

02. 1999- ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය පිළිබඳව තරුණි සහ නවලිය පුවත්පත් වලට පාඩම් මෙහෙයවීම සහ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි මැහුම් පන්ති පවත්වන බව ප‍්‍රචාරය කිරීම සඳහා දැන්වීම පල කිරීම.

03. 2000- ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය යටතේ රන්ලිය ඩිප්ලෝමා ප‍්‍රදානය උත්සවය පැවැත්වීම සහ සිසුන්ගේ ඇදුම් නිර්මාණ තරඟය පැවැත්වීම.

04. 2003- කලා ප‍්‍රසාදිනී දිරියමාතා ගෞරව සම්මානයෙන් පිඳුම් ලැබීම

05. 2006- ප‍්‍රථම වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ග‍්‍රන්ථය නිකුත් කිරීම

06. 2007- මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් පිඳුම් ලැබීම.

07. 2010- TVEC ආයතනයේ ඇගයීම් නිලධාරිනියක ලෙස පත්වීම ලැබීම. TAILOR ASSESSOR ( NVQ LEVEL - 4) TAILOR RE NO CBA/0866/2010

08. 2012- TAILOR LEVEL -4 සහතිකලාභියෙකු වීම.

09. 2013- BAKER LEVEL - 4 සහතිකලාභියෙකු වීම.

10. 2016- ශ‍්‍රී ලාංකීය කාන්තාවන් වෙනුවෙන් කල මෙහෙවරය වෙනුවෙන් ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීම.

11. 2018- ප‍්‍රථමවරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක‍්‍රමය පිළිබඳව ශ‍්‍රී ලාංකීය කාන්තාවක් වශයෙන් විදේශීය රටක (sri lanka morning show t.v melborn) මුල් වරට මැහුම් ක්ෂේස්ත‍්‍රයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීම.

මීට අමතරව දෙහිවල සිංහ සමාජයේ සාමාජිකත්වය දැරූ අතර අඩු ආදායම්ලාභී කාන්තාවන්හට නොමිලේ පාඨමාලා මෙහෙයවීම.වැඩිහිටි කාන්තා පිරිමි දෙපාර්ශයවයටම ඇස් කණ්නාඩි ලබාදීම යන මෙහෙවර කාන්තාවන් සඳහා ඉටු කරන ලදී.

මාගේ පැතුම

නුගේගොඩ පාඨමාලාව නිමවී යන දිනයේ එක් සිසුවියක් මෙම ලිපිය මා අතට පත් කරන ලදී.මේ ආකාරයටම අතින් ලියා තිබුණි.මෙය මට ඉතා සංවේගී බවක් දැනුනු බව කිව යුතුය.අදටත් මෙය මාගේ සිතේ නිරතුරුවම දෝංකාර දෙයි.



මව්පිය සෙනෙහස සොයා ඇවිද ගියෙමි
උපන්දා සිට දිවි ගමන තුල....
.. පියාණනි .. යැයි හඬන විට ඔහු මා හැර
ගොසින් බොහෝ කලය....
.. අම්මා .. යැයි හඬන විට ඇසුනේ මට ගුවන් යානය
ඉගිලෙන හඬ පමණය....
කාලය ඉගිල අද මා මවක් වී ඇත
අද මා සොයනුයේ දිවිය ජය ගන්නටය....
එබැවින් මා දිනක ගොඩවිය ඔබේ තක්සලාවට
ශිල්ප ඉගෙනීමට පමනක්ය....
ඇවිද ගිය කතරේ මා පැමිණ තිබුනේ , ක්‍ෂේම භමියකට,
බව මට සිහිවුණි....
දුටුවෙමි මා ඔබව කතරට වැටුණු, වැහි බිදුවක්,
ලෙසින් මෑණියනි ගුරු ....
ගුරු මුෂ්ටිය නැතුවම කියා දුන්නා නිම කරන්නට
මනරම් වස්ත‍්‍රයක්....
දඩුවම් කලාය වැරදි නිවැරදි කරන්නට
දුන්නාය ඔවදන් දිනන්නට ජීවිතය....
පෙන්වා දුන්නාය යන්නට නිවැරදි මග
සිහිවුණා මට බණ කථාවල මහා ප‍්‍රජාපතිය ඔබද කියා
බුදු බව පැතූ සිදුහත්ට කිරි මවක් වූ
සිතුනා මට බයිබලයේ සිටි මරියා ඔබද
පවින් ලොව ගලවන්නට දිවි දුන් ජේසුට
ආත්මීය මවක් වූ
මියෙන තුරුම සිහි කරමි ගුරුමව්නි පියාණෙනි,
ඔබ දෙපල....
මා පින් පුරන්නේ යශෝධරාවන් විශාඛාවන්
වන්නම නොව....
නිවන් දක්වා ජාති දක්වා සසර සැරි සරන තුරා
වන්නට හැකිද එක් වරක් හෝ මට
ඔබේ දියණියක වී උපදින්නට....

බෞද්ධ කාන්තාවක් වන මා නිවන් දක්නා තුරා කාන්තාවන් වෙනුවෙන් කැපකර මෙවන් දියණියන්ට ආර්ථිකය ගොඩනංවා ගැනීමට ගුරු මවක් වීමයි. හැකි ඉක්මනින් මෙම සියලූ දේ අතහැර මාහට නිවන් අවබෝධ වේවායි මාගේ පැතුමය.